The Teacher.
ඔබේ දරුවා ද මගේ ය
(ටීචර් ට ලියූ ලියුමේ පසු විපරම ) (Author - Sanjeewani Dahanayake)
_________________________
ඉකුත් දා අම්මා කෙනෙක් ' ටීචර්ට ලියුමක් ' ලිව්වාය .2018-12-30 වෙනිදා ' සිහිනයකි රෑ ' ප්‍රේක්ෂකාගාරයේ සිටි ඒ අම්මාට වේදනාවේ හඬ අවදි කරන්නට ඉඩ ලැබෙන්නේ ප්‍රවීන මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංකයන් ගේ අනපේක්ෂිත ආරාධනයෙනි .එතැන් සිට තෙත් හිත් ඇත්තවුන්
' ටීචර්ට ලියූ ලියුමේ ' වේදනාව බදා ගන්නා අයුරුත් , බෙදා ගන්නා අයුරුත් පසකට වී බලා සිටියෙමි .එයට ලැබෙන ප්‍රතිචාර පුදුම සහගතය .
මම අතීත සිදුවීම් කිහිපයක් වෙත දුවමි .
මගේ පුතා දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබදදී , එක් දිනෙක පාසල අවසන්ව ගෙදර පැමිණෙන්නේ අඳුරු වූ මුහුණෙන් යුතුවය .වෙනදාට ගෙට ගොඩ වූ විගස කියවන්නට පටන් ගන්නා පාසලේ සිදුවීම් කන්දරාව ද අසන්නට නැත .මම සුදුසු කල් බලා , බොහෝ ආදරයෙන් හේතුව විමසීමි .මෙතෙක් සඟවා සිටි කඳුළු සට සට ගා කම්මුල් දිගේ බේරිණි .
' අම්මා ..අද කොම්පියුටර් පොත ගෙනිහින් නැහැ ..මාව එළියට දැම්මා ..දණ ගහන් ඉන්න කිව්වා .අනිත් ළමයි කොම්ටපියුර් එකේ ලස්සන චිත්‍ර ඇන්දා .....
පුතා දිගටම කියවයි .දැන් පුතාට වඩා හඬන්නේ මගේ හිතය ..මම පුතාගේ හිත හැදුවෙමි ,
ප්‍රශ්නය එතැනින් අවසන් වූයේ නැත .ඉන්පසු පරිගණක විෂය ඉගෙනීමට ඇති හැම දවසකම .ඔලුව කැක්කුම , බඩේ කැක්කුම , කකුල් රිදීම් ....දරුවාට කුමක් හෝ අසනීපයකි .අසනීපයට බෙහෙත වෛද්‍යවරයෙකු..සතු නොවන බව ඉඳුරා ම දන්නා මම අදාළ ගුරුතුමිය හමුවුනෙමි .
ඇයට කරුණු වටහා දුන් පසු ඇය දුක් වූ අයුරුත් , පුතාට ආදරය කළ අයුරුත් හොදින් මතකය .ගුරුතුමියගේ ආදරය නිසා යලි පණ ලද දරුවාගේ පාසල් ගමන බොහෝ ප්‍රබෝධමත් විය .
මේ මොහොතේ මගේ මතකයට නැගෙන තවත් සිදුවීමකි . ගුරුවරියක ලෙස මා සිත සසල කළ සිදුවීමකි . එක්තරා දිනෙක මා පන්තිකාමරයේ උගන්වමින් සිටියෙමි .අනෙත් පස හැරී කළු ලෑල්ලේ ලියන ඇසිල්ලේ එක් පුතෙක් විසි කරන ලද පෑනක් දියණියකගේ ඇසට ආසන්නයේ වැදිණි .දියණියට අනතුරක් සිදු නොවුන අතර හුරුබුහුටි කොලු පැටියාට දඩුවම් ලැබිණි .ඒ වෙලාවේ පන්තිකාමරයේ සිටියේ මම නිසා , ප්‍රශ්නයට මැදිහත්වීමට මට ද සිදුවිණ .'' දැන් ඉතින් ටිචටයි , ළමයටයි දෙන්නටම පොලිසි යන්න වෙයි '' කෙනෙක් විහිලුවට කියූ දේ අසා කොලු පැටියා ඇස් ලොකු කර මා දෙස බැලුවා මතකය .ටික වෙලාවක් ගතවුණි . මම එක් පන්තියක සිට තවත් පන්තියක් වෙත යමින් සිටියෙමි ..''ට්චර් ''.. කියා මා දෙසට දුවගෙන එක දරුවෙකි . මම බලාසිටියෙමි .ගත වූයේ නිමේෂයකි .ඔහු දුවගෙන ආ පිම්මේ ම අත් දෙක මගේ ඉන වටා යවා මාව බදාගෙන ,
'' අනේ, ටීචර් පොලිසියට යන්න නම් එපා .මං විතරක් යන්නම් , ටීචර් පන්තියේ හිටිය කියල මම කියන්නේ නැහැ ...''
මගේ පපුව ඇවිලිණ .දරුවන් මොන තරම් අහිංසක දැයි මට සිතිණ .
''පාසලේ දී පීඩනයට පත්වන දරුවන්ගේ කඳුළු කතාව'' නමින් ලීලානන්ද වික්‍රමසිංහ විසින් සිළුමිණ පුවත්පතට ලියූ ලිපියක සඳහන්ව තිබු මාතර නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිව සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන පීඨ කොමසාරිස්ව සේවය කොට දැනට විශ්‍රාමිකව සිටින වී.පී. චන්ද්‍රසේන මහතා ගේ අත්දැකීමක් ද මෙතන පුවත්පතේ පළවූ ලෙසම උපුටා දක්වමි .
...''සරසවියෙන් උපාධිය ලද අලුතම වාගේ පත්වීමක් ලද ගුරුතුමා පාසලේ තමාට නියමිත පන්ති කාමරයට ගියේ. එය 12 වසරේ පන්තියකි. ගුරුතුමා සිටියේ තරුණ වියේය. නියමිත පන්තියට ගිය ගුරුතුමාට දකින්නට ලැබුණේ සිත කලඹන දසුනකි.
යාබද පන්තියේ එනම් 11 වසරේ සිසුවෙකු පන්තිය ඉදිරියේ දණ ගසා සිටීමය. විෂය දැනුමෙන් ආඪ්‍යව සිටියද ගුරුතුමා සාමාන්‍ය පාසලක ක්‍රියාදාමය පිළිබඳ දැනුමෙන් අඩුය. පන්තිය ඉදිරියේ දණ ගසා සිටි ළමයා හිස බිමට නමාගෙන මුහුණ සඟවා ගෙන සිටියේය. එය ඔහු තමාගේ දණ හිසෙන් නැඟෙන වේදනාවට වඩා සිතට නැඟෙන වේදනාව බලවත් බව කියනා ලකුණකි.
එහෙත් පෙනෙන්නේ, අදාළ පන්තියේ ගුරුතුමාට නම් මේ ගැන වගක්වත් නැති බවය. ළමයා දණ ගසා සිටින්නේ ඔහු කළ යම්කිසි වරදකට විය හැකිය. දණ ගසා සිටීම එයට දුන් දඬුවමය.
මොකක්දෝ හේතුවක් නිසා මේ ක්‍රියාව අපේ අලුත් ගුරුතුමාට ඇල්ලුවේ නැත. ඔහුගේ සිත බෙහෙවින් නරක් විය. ගුරුතුමා සිතුවාක් මෙන්ම දණ ගසා සිටි ළමයා ඉන්පසු පාසලට ආෙව් නැත. අද එයි හෙට එයි කියා සිතුවද ඔහු ආවේම නැත.
ඔහුට ගුරුතුමා පමණක් නොව පාසලද එපා වී ඇති හැඩය. මේ සිද්ධිය ඇවිස්සී ගියේ සති අන්තයේ පැවැති ගුරු රැස්වීමේදී ය. අලුත් ගුරුතුමා මේ සිද්ධිය සඳහන් කොට ඉන් සිසුවාට ඇති විය හැකි පීඩාකාරී තත්ත්වය ගැන විස්තර කළේය. ඔහු ඒ දිනවල මනෝවිද්‍යාව ගැන දැන නොසිටියද මනුස්සකම දත් හොඳ පියකු සතු දරුවන්ට ඇති ආදරය ගැන දැන සිටියේය. ගුරුභූමිකාවේ ධනාත්මක පැත්ත ගැන ඔහුට දැනුමක් තිබිණ.
ගුරුමණ්ඩලය තුෂ්ණිම්භූතව සිටියද විදුහල්පතිතුමා මැදහත් ලෙස ගැටුම දෙස බැලුවේය. රැස්වීමෙන් පසු ගුරුතුමා කැඳවූ විදුහල්පති හැකි කමක් ඇත්නම් එම සිසුවා නැවත පාසල වෙත කැඳවා ගෙන එන්නැයි ඉල්ලීමක් කළේය. පුදුමයකි. අලුත් ගුරුතුමාගේ බස පිළිගත් සිසුවා නැවත පාසලට ආවේය. සිසුවාගේ දෙමාපියන් සිටියේ දණ ගැස්වූ ගුරුවරයා ගැන දැඩි කලකිරීමකිනි. ඔවුන් කියා සිටියේ අදාළ ගුරුවරයා තම දරුවාගෙන් පළිගන්නා බවකි.
කලකට ඉහත සිදු වූ මේ සිදුවීම අපට කීවේ වී.පී. චන්ද්‍රසේන මහතාය. ඔහු ගුරුවරුන්ටත් උගන්වන හැටි උගන්වන ගුරුවරයෙකි. මාතර නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිව සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන පීඨ කොමසාරිස්ව සේවය කොට දැනට විශ්‍රාමිකව සිටින්නෙකි.
අප එතුමාගේ නිවසට ගියේ ගුරුවරුන් ඉවක් බවක් නැතිව තම සිසුන්ට දැඩි ශාරීරික දඬුවම් පැමිණ වීමේ ප්‍රවණතාවයක් මතුවෙමින් ඇති නිසා ඒ පිළිබඳ තතු දැන ගැනීම පිණිස ය.
“ඉතින් ඊට පස්සෙ මොකද වුණේ?”
“ඒ ළමයා උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගියා. අනතුරුව රජයේ බැංකුවක කළමනාකාර තනතුරක් ලැබුවා.” ...
( උපුටා ගැනීම අවසන් )
95 % කම ගුරුවරු දරුවාට දඬුවම් පමුණුවන්නේ දරුවාගේ යහපත අපේක්ෂාවෙන් බව ගුරුවරියක වන මම ද විශ්වාස කරමි .අරමුණ යහපත් වුවද , පීඩාකාරී කායික මානසික දඬුවම නිසා මතුපිටින් පෙනෙනවාට වඩා තදබල ලෙස දරුවා කායික , මානසික පිඩාවට පත් වන බවත් ,ඒ නිසාම ඇති වන චිත්ත පෙරළිය දරුවා අධ්‍යාපනයෙන් ඈත් කිරීමට පවා හේතු විය හැකි බව අප වටහාගත යුතුමය .එම අවස්ථාවේ දරුවා පත්වන ලැජ්ජාව , අපේක්ෂා භංගත්වය නිසා ම සමස්ත සමාජයටම වෛර
කරන්නෙකු බිහිකිරීමේ පදනම නිර්මාණය කරන්නේ අප විසින්මය .
වර්තමාන පාසල් පදධතිය තුළ ප්‍රමුඛත්වය ලැබෙන්නේ හුදෙක්ම විෂය නිර්දේශය ආවරණය කිරීමට සහ ඉහල සමර්ථ සඳහා පමණක් බව පැවසීම සත්‍යකි
.දැනුම මැනීමේ ක්‍රමවේද තිබුනාට , දරුවාගේ සාරධර්ම ගොඩනගන්නට ක්‍රමවත් වැඩපිළිවෙලක් හෝ සාරධර්ම මනින්නට මිම්මක් හෝ අධ්‍යාපන ක්‍රමය තුළ නැත .අපි තරගකාරී අධ්‍යාපන රටාව තුළ සාරධර්මවලින් තොර , සංවේදී බවෙන් තොර , නිර්මාණශීලි බවෙන්තොර , හුදකලා ආත්මාර්ථකාමී දරුවන් බිහිකරමින් සිටින්නෙමු .
දරුවන් ක්‍රීඩාවෙන්, කලාවෙන් සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් බොහෝ ඈත් වී සිටියි .මේ නිසාම දරාගැනීමේ ශක්තිය අඩු , අවේග පාලනයෙන් තොර ,නිවැරදි දේ තෝරා බේරා ගන්නට නොහැකි සහ වැරදි දේ ප්‍රතික්ෂේප කරන්නට නොහැකි දරු පරම්පරාවක් අප අභිමුව බිහිවෙමින් සිටියි .
මේ ඛේදවාචකයේ අතුරු ප්‍රතිපල ලෙස අප විසින්ම නිර්මාණය කළ ඒ දරුවාගේ අප නුරුස්සන ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට ඒ අහිංසකයාට තලා පෙලා පහර දී , මානසික හා කායික පිඩා දීම සුදුසු දැයි සිතිය යුතු කාලය එළඹ ඇත
පහරදීම් හෝ භාවාත්මක අපයෝජන හෝ නොකර දරුවන්ව විනයානුකූලව හැඩගස්වා ගැනීම සඳහා යෝග්‍ය විවිධ ක්‍රමෝපායයන් පාසල් පද්ධතියට විධිමත් ලෙස බද්ධ කළ යුතු අතරම දරුවා වෙත යන ගුරවරයා මත පටවා ඇති අනවශ්‍ය බර කන්ද සැහැල්ලු කළ යුතුය .ඔහු කොළ පුරවන්නෙකු බවට පත් නො කර නිදහස් හා ප්‍රීතිදායක මනසකින් යුතුව දරුවා වෙත යන ආදරණිය මිනිසෙකු බවට පත් කළ යුතුය .
එවන් පරිසරයක් තුළ දරුවන් සම්බන්ධ ගැටලුවකදී ගුරුවරයා ගැටලුව දෙස සුසමාහිතව මිස ආඥාදායක මනසකින් නොබලන බව විශ්වාසය .
කුමන තත්වයකදී වුව , ගුරුවරුන් ලෙස අප දරුවන්ට ආදරය කළ යුතුය .ඔවුන් සුරක්ෂිත කළ යුතුය .දැනුමෙන් , ආකල්ප හා කුසලතාවන්ගෙන් පෝෂණය කළ යුතුය .හිස පිරුණු , හදවතත් තෙත් , අත සවිමත් දරුවෙක් බිහි කළ යුතුය .
පන්ති කාමරයේ සිටින දරුවෙක් , තවත් එක් අයෙකු ලෙස ඔබට සිතෙන්නට පුළුවන .එහෙත් ඒ තවත් අම්මා කෙනෙකුගේ සහ තාත්තා කෙනෙකුගේ මුළු ලෝකයමය. ඒ ඔවුන් සතු වටිනාම සම්පතය .ඒ සම්පත අප වෙත එවන්නේ ඔවුන්ට කළ නොහැකි දේ අපට කළ හැකි බවට විශ්වාස කරන නිසාමය .එම විශ්වාසය තහවුරු කිරීම අපේ වගකීමය .
අප්‍රමාණ සෙනෙහසකින් , අසීමිත කැපවීමකින් සිසු දූ පුතුන්ගේ අනාගතය යහපත් කරන්නට වෙහෙසෙන බහුතරයක් ගුරු මව් පිය වරුන්ට මාගේ ශිර්ෂ ප්‍රණාමය පුද කරමි .'' ටීචර්ට ලියුමක් '' කවි පන්තිය ලියැවෙන්නේ සමස්ත ගුරු පරපුරටම නොවන වග ද ලියා තබමි
දරුවාට දෙන දඬුවමේ සිමාව කොතැන දැයි කවි පන්තිය කියවූ පාසල් ගුරුවරයෙක් මගෙන් විමසිය .මේ සටහනේ අවසානයට මා එම ගුරුවරයාට දුන් පිළිතුර ලියම් .
'' දස මසක් මා කුස තුල හොවා , අනේක දුක් විඳ මෙලොවට බිහිකර , ලේ කිරි කර පොවා ඇති දැඩිකළ , මගේ ලෙයින් සෑදු මගේ දරුවාම එම වරද ම කළා නම් , මම මගේ දරුවාට දෙන දඬුවම ම ඒ දරුවාටත් දෙමි .''
තවත් දරුවෙක් ට අත ඔසවන්නට පෙර , වදනින් රිද්දන්නට පෙර වරද කළ දරුවා මොහොතකට එතැනින් ඉවත් කර ඔබේ සහජාත දරුවා එතැන තබා බලන්න ,ඔබේ දරුවාගේ කඳුළු සහ හදවතේ ගැස්ම ඔබේ මනුසත්කම අවදි කරනු ඇත .
Comments